Friday, July 15, 2011

ශ්‍රී ලංකා දැල් පන්දු නායිකාවට තරග තහනමක් ?

ස්කොට්ලන්ත සංචාරයේ දී මෙන්ම ලෝක කුසලානය සදහා කළ සිංගප්පූරු සංචාරයේදී ද විනය කඩ කළ බවට චෝදනා ගොනු කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා කුමරින් සිල්වා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම වාරණයට ලක් කිරීමට දැල් පන්දු පරිපාලනයේ සූදානමක් පවතින බව සුපිරික්‍රීඩා ආරංචි මාර්ග අනාවරණය කරයි.මේ සදහා ලෝක කුසලාන දැල් පන්දු සංචාරයේ කළමණාකාරිය දැඩිව පෙනී සිටින බව වාර්තා වන අතර ඇය තේරුම් කමිටු සභාපතිණිය වශයෙන් කුමරින් සිල්වා ට වඩා සුදුසුකම් ඇති පිරිස් සිටියදී සහ දැනට එල්ල වී ඇති විනය චෝදනාවම මුල් කර ගෙන සිය සේවා ආයතනයට ක්‍රීඩා කිරීමද වසරක කාලයකට තහනම් කිරීම ද නොසළකා කුමරින්ව නායකත්වයට තේරීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ තැනත්තියකි.අප එම තේරීම කළ මුල් අවස්ථාවේදී ම මෙම කරුණු පෙන්නා දුන්න ද දැල් පන්දු පරිපාලනය එය තුට්ටුවකට මායිම් නොකළ අතර නමුත් ස්කොට්ලන්ත සංචා‍රයේ දී ආති වූ තත්ත්වයන් සළකා ලෝක කුසලාන තරගාවලියේ දී කුමරින් ගේ නායකත්ව වගකීම් දෙකට බෙදා තර්ජණි සිවලිංගම් ට ද සම නායකත්ව වගකීම් පැවරීමට දැල් පන්දු පරිපාලනයට සිදු විය.


ඇය සහ තවත් ක්‍රීඩිකාවකට මෙම විනය චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් දෙදෙනා ස්කොට්ලන්ත සංචාරයේ සිටම තමන්ගේ පෞද්ගලික සබදතා හේතු කර ගනිමින් නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගත් බව වාර්තා වේ.ලෝක කුසලාන තරගාවලියේ දී තරගයට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය රහිතව ක්‍රීඩා කළ නිසා ඇතැම් තියුණු තරග වල ජයග්‍රහණය ලබා ගැනීමට තිබුණු අවස්ථා ද මෙම ක්‍රීඩිකාවන් ගේ නොසැළකිල්ල නිසා මග හැරුණු බව වාර්තා වේ.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ද මෙම සංචාරයට සහභාගි වී සිටි නිසා ඇයට ද මෙම කරැනු පිලිබදව අවබෝධයක් ඇති බැවින් ඇය ද මෙම ක්‍රීඩිකාවන්ට එරෙහිව මෙන්ම කණ්ඩායම සම්බන්ධයෙන් ගත් යම් යම් තීරණ පරාජයට හේතු වූ අයුරුද ඉදිරියේ දී අමාත්‍යංශ්‍යට ඉදිරිපත් කරනු ඇති බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.

No comments:

Post a Comment